Wednesday, September 28, 2016

ව්‍යවසායකයා

ව්‍යවසායකයා අතිශයින්ම සුවිශේෂී අපූර්ව පුද්ගලයෙකි, ව්‍යාපාරයක සම්පූර්ණ අවදානම බාරගන්නේ ව්‍යවසායකයාය. එවගේම ව්‍යාපාරික අවස්ථාව කල් ඇතිව දැක එය සංවිධානය කොට කළමනාකරණය කරන්නේ ව්‍යවසායකයාය. එවගේම අලුත් ව්‍යාපාරයක් මෙහෙයවීමේ වගකීමට උරදෙන පුද්ගලයා ව්‍යවසායකයෙකි.  ව්‍යවසායකයා අලුත් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොළට හඳුන්වා දෙයි. නැතිනම් දැනටමත් වෙළඳපොලේ තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් තවදුරටත් දියුණු කොට නව ආකාරයකට ඉදිරිපත් කරයි.

ව්‍යාපාරික අවස්ථාව කල් ඇතිව දැක ඒ අනුව භාණ්ඩ හා සේවාවන් නිපදවා ලාභ උපයා ගැනීමට ක්‍රියාකාරී වීම ව්‍යවසායකත්වයයි. ඒ අනුව ව්‍යවසායකයා ව්‍යාපාරික අවස්ථාව කල් ඇතිව දකියි. ව්‍යාපාරික අවස්ථාවන් යනු මිනිසුන්ගේ යම් අවශ්‍යතාවයක් ඉටු කිරීමට අවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට ඇති ඉඩ ප්‍රස්ථාවයි. සාමාන්‍ය පුද්ගලයෙකුට නොපෙනෙන ව්‍යාපාරික අවස්ථාවන් ව්‍යවසායකයා කල් ඇතිව දකී. එනම් ව්‍යවසායකයා යම් විශේෂ තීක්ෂණභායක් සහිත පුද්ගලයෙකුද වේ. ව්‍යවසායකයා අනාගතයද කල් ඇතිව දකින්නෙකි.
අපේක්ෂිත අවසාන ප්‍රතිඵලය ලබාගැනීම පිනිස ඒ දුර ගෙවා ගමන් කිරීමටද ව්‍යවසායකයා සූදානම්ය. ඒ යන ගමනේ අතරමඟ හමුවන ඕනෑම අභියෝගයක් හෝ භාදාවක් මැඩගෙන ඉදිරියටම යාමට ව්‍යවසායකයා සූදානම්ය. සාර්ථකත්වය පිළිබඳ දැඩි විශ්වාසයකින් සහ අධිෂ්ඨානයකින් යුතුව සිය අරමුණ ලඟාකර ගැනීමට ඉලක්ක හඹායාමට ව්‍යවසායකයා කිසිවිටෙකත් මැලි නොවේ. ඒ සඳහා ව්‍යාපාරය මෙහෙයවීමට අවශ්‍ය ජවය ශක්තිය ව්‍යවසායකයා සතුව පැවතිය යුතුය.

මිනිසුන්ගේ සහ සමාජයේ අවශ්‍යතා කලින් කලට විවිධ විය හැක. දක්ෂ ව්‍යවසායකයන් ඒ අනුව සිදුකල යුතු වෙනස්කම් කල් ඇතිව දකී. පාරිබෝගිකයන් ආකර්ෂණය කර ගැනීමටත්, ලාභදායීත්වය වර්ධනය කර ගැනීමටත් කලින් කලට සිදුකල යුතුවෙනස්කම්, නැතිනම් නව්‍යතා හදුනාගනිමින් කටයුතු කිරීම දක්ෂ ව්‍යවසායකයකුගේ ලක්ෂණයකි. කලින් කලට වෙනස්කම් හඳුනාගෙන සිදු නොකිරීම ව්‍යාපාරයෙන් පාඩු සිදුවීමට ලක්වීම වැනි බරපතල දුර්වලතාවයකි. විශේෂයෙන් ම වෙළඳපොළ තරඟකාරීත්වය ජය ගැනීමට පහසුම මග ඒ වන බව ව්‍යවසායකයා දනී.

ව්‍යවසායකයා ස්වං දැක්මක් සහිතව සහ ධනාත්මක ආකල්පවලින් සන්නද්ධව ක්‍රියාකාරී වන අයෙකු බැවින් සම්පත් හා මුදල් ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට මැලි නොවෙති. ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවත්නා ව්‍යාපාරයක් දියුණු කිරීමට ආයෝජනය කිරීම ව්‍යවසායකයා විසින් අනිවාර්යයෙන් කල යුත්තකි. එබැවින් දක්ෂ ව්‍යවසායකයන් ආයොජනය කිරීමට බිය නොවෙති. නමුත් ආයෝජනයටද සැළැස්මක් තිබීම අත්‍යාවශ්‍යය. සැළසුමක් නැතිව ආයෝජනය කිරීමේදී ව්‍යාපාරයේ අරමුණද වෙනස් වීමට ඉඩ තිබේ. එවගේම තමා ආයෝජනය කරන ක්ෂේත්‍රය පිලිබද විශ්වාසයක් තිබිය යුතුය.  එම විශ්වාසය මත අනාගත දිනෙක අවශ්‍යවන භාණ්ඩ හා සේවා නිපදවීමට වර්ථමානයේ ආයෝජනය කිරීම ව්‍යවසායක ලක්ෂණයකි.

ව්‍යවසායකයා විශාල අවදානමක් දරා ගනිමින් ව්‍යාපාරයේ ආයෝජනය කර ඇති නිසා උපරිම කැපවීමෙන් සහ අධිෂ්ඨාණශීලීව කටයුතු කරණු ඇත. මේ අර්ථයෙන් බලන කල තමන්ට අයත් තමන් විසින්ම සැළසුම් කොට සහ ආයෝජනය කොට ව්‍යාපාරයක් අරඹා අවදානමක් දරණ පුද්ගලයා ව්‍යවසායකයෙකි. සාමාන්‍ය ජන සමාජයේ මිනිසුන් විශාල අවදානමක් දැරීමට මැලිවෙති. නමුත් දැක්මක් සැළසුමක් සහිත නිසා ව්‍යවසායකයා අවදානමක් දරා ආයෝජනය කිරීමට බිය නොවේ. ව්‍යවසායකයා සමාජයේ අවශ්‍යතාවය වෙනුවෙන් නිතරම අලුත් දෙයක් නිර්මානය කරයි. එබැවින් ව්‍යාපාරය රැකබලාගන්නේ අලුත උපන් කුඩා බිලිඳෙකු රැකබලා ගන්නා සේය. එවගේම ව්‍යාපාරය පෝෂණය කරයි. එබැවින් ව්‍යවසායකයා ප්‍රයෝජනවත් රටක ආර්ථික වර්ධනයට විශාල වසයෙන් දායකවන පුද්ගලයෙකි.

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකාවේ බැංකු ගනුදෙනු වලදී වාර්ෂික නිශ්පාදන අලෙවි වටිනාකම (පිරිවැටුම) රුපියල් දශලක්ෂ 140 ට අඩු ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස සලකනු ලබයි. ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය වර්ෂ කිහිපයකට පෙර නිර්දේශ කල ආකාරයට යම් ව්‍යාපාරයකට අයත් ඉඩම් සහ ගොඩනැගිලි වල වටිනාකම හැර අනෙකුත් වත්කම් වල මුළු වටිනාකම රැපියල් දශලක්ෂ 20 ට වඩා අඩුනම් ඒ්වා කුඩා ව්‍යාපාර ලෙසත් රැපියල් දශලක්ෂ 21 සිට 50 අතර ව්‍යාපාර මධ්‍ය පරිමාණ ව්‍යපාර ලෙසත් හඳුනාගනී

ව්‍යාපාරයෙ අයිතිය අනුව පහත ආකාරයට වර්ග කල හැක
  •  තනි පුද්ගල ව්‍යාපාර
  •  හවුල් ව්‍යාපාර
  • ‍පෞද්ගලික සමාගම්
තනි පුද්ගල ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම දක්නට ලැබෙන්නෙ මෙම ව්‍යාපාර වේ. ව්‍යාපාරය සතු සියලුම වත්කම් හා වගකීම් සඳහා අයිතිය ඇති තනි පුද්ගලයකු විසින් පුද්ගලිකවම වගකීමට බැඳී ඇති ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර ලෙස හදුන්වනු ලැබේ. මෙවැනි ව්‍යාපාර වල ප්‍රාග් ධනය යෙදවීම, පරිපාලන කටයුතු සිදු කිරීම, හිමිකරැ විසින්ම කරනු ලැබේ. ඒ් වාගේම මෙවැනි ව්‍යාපාර වල පවුලේ සමාජිකයන්ම සේවකයන් ලෙස කටයුතු කිරීම දක්නට ලැබේ.

හවුල් ව්‍යාපාර
පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසකගේ (උපරිම 15 දෙනෙකු) මුදල් ආයෝජනයෙන් අරඹා ඔවුන් විසින් පාලනය සහ අයිතිය පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර හවුල් ව්‍යාපාර වේ. මේවායේ සියළුම වත්කම් හා වගකීම් හවුල්කරැවන් අතර බෙදී යයි. එමෙන්ම ව්‍යාපාරයේ සියළුම කටයුතු හවුල් කරැවන් විසින්ම සිදුකරයි.

  • ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරයේ නම
  • ව්‍යාපාරයේ සාමාන්‍ය ස්වභාවය
  • ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය පවතින ස්ථානය
  • ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක් නම්
    •  අයිතිකරුගේ සම්පූර්ණ නම
    •  අයිතිකරුගේ පුරවැසි භාවය
    •  අයිතිකරුගේ සාමාන්‍ය පදිංචි ස්ථානය
    • අයිතිකරුට වෙනත් ව්‍යාපාර ඇත්නම් ඒ් පිලිබඳ විස්තර

හවුල් ව්‍යාපාරයක්නම්
  •  හවුල් ව්‍යාපාරයේ වර්ථමාන නම සහ පෙර පැවැති නම
  •  හවුල් කරැවන්ගේ සම්පූර්ණ නම් සහ ජාතික හැඳුනුම්පත් අංක
  •  හවුල්කරැවන්ගේ පුරවැසි භාවය
  •  ඒ් ඒ් හවුල් කරැවන් පදිංචි ස්ථාන සහ වෙනත් ව්‍යාපාර ඇත්නම් ඒ් පිළිබඳ විස්තර
  •  අයිතිකරැවන්ගේ සම්පූර්ණ නම් සහ මීට පෙර පැවැති නම්
  •  ව්‍යාපාර නාමය සහ ලියාපදිංචි නාමය
  •  ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන

තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර කොළඹ පිහිටා ඇත්නම් ව්‍යාපාර නාමය හා හවුල්කරැවන්ගේ නම් ලියාපදිංචි කල යුත්තේ කොළඹ පිහිටි පලාත් සමාගම් රෙජිස්ටාර් කාර්යාලේය.
තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරය කොළඹින් බැහැරව පිහිටා ඇත්නම් ව්‍යාපාර නාමය හා හවුල්කරැවන්ගේ නම් ලියාපදිංචි කල යුත්තේ අදාල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලේය.
හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන විට අයුදුම්පත සමඟ ලිඛිත හවුල් ගිවිසුමක් ඇතුලත්කිරීම වඩාත් සුදුසුය. එම ගිවිසුමෙහි හවුල්කරැවන් අතර එකඟ වූ නීති රීති සහ සම්බන්දතාවයන් දැක්විය යුතුය.